සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් ඉන් අනතුරුව අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 38ක කාන්තාවක්.
නිවසේ ඇති අඩුපාඩු සපුරාගැනීම ඇතුළු සිහින රැසක් පොදි බැඳගනිමින් 38 හැවිරිදි තිදරු මවක් වන සාරංගා උදේශිකා පෙරේරා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් තිබුණේ මීට වසර 2කට පෙරයි.
පසුගිය මාසයේ දිනක ඇය සැමියාට පවසා තිබුණේ අප්‍රේල් මස 19 වැනිදාට පෙර තමන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.
කෙසේවෙතත් ඇය පැවසූ පරිදි නොපැමිණීම හේතුවෙන් සැමියා පොලීසියට කළ පැමිණිලි මත විමර්ෂණ සිදුකර තිබු අතර පසුගිය අප්‍රේල් මස 14 වැනිදා අලුයම 2.05ට ඇය මෙරටට පැමිණ ඇති බවට අනාවරණය වි තිබුණා.
සාරාංගාගේ සැමියා බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදීද ඒ බව තහවුරු වී තිබෙනවා.
පසුව පොලීසිය කටුනායක ගුවන්තොටුපොළේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබුණේ අප්‍රෙල් 14 වෙනිදා අලුයම 3.30ට පමණ සාරංගා ගමන් මලු 2ක්ද සමඟින් කුලී මෝටර් රථයකින් පිටව යන ආකාරයයි.
ඉන් අනතුරුව ගුවන්තොටුපළ පොලිස් නිලධාරීන් මෝටර් රථයේ ලියාපදිංචි අංකය සොයාගෙන රියදුරු කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමේදී සාරංගා උදේශිකා දඹුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් අසල නිවසකට ගිය බව ඔහු පවසා තිබුණා.
කෙසේ වෙතත් ඇගේ සැමියා පවසන්නේ, තමන් දඹුල්ල පොලීසියේ නිලධාරීන් සමග ගොස් සිදුකළ පරීක්ෂාවේදී කිසිදු කාන්තාවක් නොපැමිණි බව අදාළ නිවැසියන් පැවසූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කහතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
