ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණ සහ තවත් අරමුණු සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකිය.
ශ්‍රී ලංකාවේ අලෙවි වන මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කලින් කලට නිවේදන නිකුත් කරනු ලබයි.
සැමට අහිතකර රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග ඒවා භාවිත කර යට කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන බලපෑම් ද ඇති කරයි.
හඳුනාගත් හානිකර ආලේපන වර්ග මොනවා ද?
අන්තර්ජාතික නිර්ණායකය වන ISO/TR/17276 අනුව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත කරන ලද ශ්‍රි ලංකා ප්‍රමිතී නියෝග SLS 743 අනුව ශරීර ආලේපනයක තිබිය හැකි උපරිම රසදිය (Mercury) ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් එකක් (1mg/kg) විය යුතු ය.
නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයේ දක්වා ඇති නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා අධික ප්‍රමාණයක් වේ.
ඇතැම් නිෂ්පාදනවල එය දස දහස් ගුණයන්ගෙන් ඉහළ ය.
එමෙන් ම අධිකාරිය විසින් දක්වා ඇති ඇතැම් නිෂ්පාදනවලට කාණ්ඩ අංකයක් නොමැති අතර, එවැනි කාණ්ඩ අංකයන් නොමැතිව නිෂ්පාදන විකිණීම ද තහනම් ය.
පහත නිෂ්පාදන 49 තුළ ප්‍රමිතිගත රසදිය ප්‍රමාණයට වඩා ඉතා අධික රසදිය ප්‍රමාණයක් ඇති බවට නිවේදනයේ දැක් වේ.



රසදිය ශරීරයට අහිතකර ඇයි?
රසදිය යනු පිළිකා කාරකයක් වන අතර බොහෝ විට සමේ පිලිකා සහ වෙනත් සංකූලතා වලට හේතු වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
2019 වර්ෂයේදී මෙවැනි ආලේපන වර්ග 16ක් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරික්ෂණයකින් අනාවරණය වූ කරුණු පිලිබඳ වාර්තා කිරීමේදී බීබීසී සිංහල විසින් රසදිය අඩංගු ආලේපන භාවිත කරන්නේ නම් සිදුවන සෞඛ්‍ය ගැටළු පිළිබඳ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍රියානි සමරවීර විසින් පැහැදිලි කර තිබේ.
රසදිය ශරීරගත වීම නිසා,
- වකුගඩු රෝග
- ස්නායු ආබාධ
- නොරුස්සන ගතිය
- සිහිමද ගතිය
- සමේ දද සහ කැළැල් ඇති වීම
- සම දුර්වර්ණ වීම
- ප්‍රතිශක්තිකරණය අඩු වීම නිසා පහසුවෙන් බැක්ටීරියා හා අසාදනවලට ලක්වීම
- කන් ඇසීම අඩුවීම
- ඇස් පෙනීම අඩු වීම
වැනි ආබාධ ඇතිවිය හැකි බව ඇය පවසා තිබේ.
මව්වරුන් රසදිය අඩංගු ආලේපන භාවිත කිරීම, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය අඩු වීමට හේතු වන බව බොහෝ දෙනා නොදන්නා කරුණක් බව ද ඇය 2019 වසරේදී පවසා තිබේ.
(source – බීබීසී සිංහල)
