Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකාවට හිමිවන රුසියාවේ සහාය

1 year ago

ශ්‍රී ලංකාවේ රුසියා තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ(30) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්තෙන් පසුවන බව රුසියානු තානාපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පළ කළ අතර, ජනතාව ට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව රුසියානු රජයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී පළ කර සිටියේ ය.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබා දෙන බව ද රුසියානු තානාපතිවරයා සඳහන් කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේ දී දෙරට අතර සෞඛ්‍ය, ආයුර්වේද, ජනමාධ්‍ය වැනි  ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත්ව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද අවදානය යොමුවි ය.