Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පෙර පාසල් ‍යන වයසේ පසුවන දරුවන්ට පවතින බරපතළ සෞඛ්‍ය අවදානමක් පිළිබඳව අනාවරණයක්

1 year ago

පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා හතරගුණයකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය පාදක කරගනිමිනි.

සමාන්‍යයෙන් කුඩා දරුවන් දෛනිකව ගත යුතු සීනි ප්‍රමාණය වැඩිහිටි පුද්ගලයකු ලබා ගන්නා සීනි ප්‍රමාණයට වඩා භාගයකින් පමණ අඩුවිය යුතුය. තවද දෛනිකව දරුවන් විසින් ලබාගන්නා කැලරි ප්‍රමාණයෙන් සියයට පහක් පමණ සීනි අඩංගු විය යුතුය.

‘සමාජය සහ චර්යාත්මක වෙනසක් ඔස්සේ ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා සන්නිවේදනය’ මැයෙන් ඊයේ (18 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉනෝකා වික්‍රමසිංහ මේ බව සඳහන් කළාය.

මෙම තත්ත්වයන් මග හරවා ගැනීම සඳහා ලබන සතියේ සිට පෙර පාසල් තුළ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

විශේෂයෙන්ම පෙර පාසල් දරුවන්ගෙන් සියයට හැටක් (60%) පමණ පැණි බීම බීමට හුරුවී ඇති බවද ඇය මෙහිදී සඳහන් කළාය.

මෙම දරුවන් පෙර පාසල් නිමකර දෙමව්පියන් හෝ වෙන යම් භාරකරුවකු සමග නිවෙස්කරා ගමන් කිරීමේදී පැණි බීම පානය කිරීමට වැඩි වශයෙන් හුරුවී ඇති බවද අදාළ සමීක්ෂණයේදී හඳුනාගෙන ඇත.

එසේම සෑම දරුවකුටම දෛනිකව එළවළු වර්ග දෙකක්, පළතුරු දෙවර්ගයක් සහ කොළ මැල්ලුම් වර්ගයක් ලබාදීමට දෙමව්පියන් විසින් කටයුතු කළ යුතු බව ද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය.

තවද මෙම සමීක්ෂණයේදී වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට හැටක් (60%) පමණ ඩිජිටල් තිරවලට ඇබ්බැහි වී ඇති බවද හඳුනාගෙන තිබේ.