Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති මන්දිරය නැරඹීමට පැමිණි පාසල් සිසුන්

1 year ago

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැ‍ටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල්වල සිසුසිසුවියන් හට අද (18) අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට අදාළ ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය සහ පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.

එසේම, මෙම වැඩසටහනට සමගාමීව “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් මෙම වැඩසටහනට සහභාගී වූ පාසල් වෙත සංකේතාත්මක තිළිණ ලෙස වටිනා පැළ ප්‍රදානය කෙරිණි.

රට සංවර්ධනය කිරීම සඳහා සෑම ක්ෂේත්‍රයකම යෝධ වැඩ කළ හැකි පිරිසක් බිහි කළ යුතු බවත්, එමගින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට ඔසවා තැබීමට හැකි බවත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළේය.

ඒ සඳහා යහපත් ආකල්ප තමා තුළම ඇති කර ගනිමින් තමන්ගෙන් වෙනස්වීම ආරම්භ කළ යුතු බවද, එමගින් ලෝකයේ ලස්සනම රට ශ්‍රී ලංකාව බවට පත් කිරීමට හැකි වනු ඇති බවද, කපිල ජනක බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.