සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ගේ සංගමය යන සංගම්වල නියෝජිතයින් සමග සාකච්ඡාවක් පසුගියදා (01) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පවත්වනු ලැබීය.
මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ වෘත්තිය ගැටළු අතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක තනතුර පිරවීම, යතුරු පැදි ලබා ගැනීම, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව කඩිනම් කිරීම, පුහුණුව සඳහා අලුතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම, සේවාස්ථ පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම, රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම, ඩිජිටල් සෞඛ්‍ය පද්ධතියක් සකස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධව සාකච්ඡාවට ලක් කෙරිණි.
එහිදී එම කාලීන ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් සමග එම අවස්ථාවේදීම සාකච්ඡා කර එම ගැටළු කිහිපයක් සඳහා විසඳුම් ලබා දීමටද පියවර ගත් අතර අනෙකුත් ගැටළු සඳහා ඉදිරියේදී මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ලෙස විසඳුම් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරි වේලාවන් සංශෝධනය කිරීම පිළිබඳව ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළ අතර එම වේලාව සංශෝධනය කිරීම පිළිබඳව පවතින තාක්ෂණික සහ ප්‍රායෝගික මෙන්ම අනෙකුත් කරුණු පිළිබඳව ඉදිරි තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට තීරණය කරනු ලැබීය.
ඒ අනුව ඉතා කෙටි කලකින් එම කමිටුව මගින් ලබා දෙන තීරණ හා තීන්දු මත ඉදිරි කටයුතු සිදුකරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
