Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට සාර්ථක විසඳුමක්

1 year ago

දුම්රිය මාර්ග හරහා වන අලි වැඩි වශයෙන් මාරුවන බවට හදුනාගත් ස්ථානවලට ආරක්ෂිත කැමරා යෙදවිමේ නියමු ව්‍යාපෘතිය සාර්ථක බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

මෙම වැඩපිළිවෙළ මගින් දුම්රියේ අලි ගැටී මියයාම් හෝ තුවාල වීම් අවම කරගත හැකි වෙතැයි බලාපොරොත්තු වන බවයි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

දුම්රිය මාර්ග ඔස්සේ අලි මාරුවීම් සිදුවන අතර ඒ අතරින් වැඩි වශයෙන් අලි ගැවසෙන ස්ථාන 20 ක පමණ ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තුමේන්තුව විසින් හදුනාගනෙ තිබුණි.

ඒ අතරින් නියමු ව්‍යාපෘතිය වන අලින් බහුලව මාරුවන ගල්ගමුව කාසිකොටේ දුම්රිය මාර්ගය ආශ්‍රිත ප්‍රදේශයේදී සිදු කිරීමට තීරණය කර තිබුණි.

ඒ අනුව සූර්ය පැනල ආධාරයෙන් වන ආරක්ෂිත කැමරා සවිකිරීම හා එම ස්ථානය පැය විසි හතරම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය පාලක මැදිරිය හරහා නිරීක්ෂණය කිරීම මෙමගින් සිදු කෙරුණු අතර ඒ අනුව වන අලි ගැවසෙන වේලාවන් හා ස්ථාන දුම්රිය පාලක මැදිරිය හරහා නිරික්ෂණය කිරීම මෙන්ම එම කාලය තුළ ඒ මාර්ගයේ ධාවනය වන දුම්රියේ රියදුරු හා නියාමක කඩිනමින් දැනුවත් කර දුම්රියේ වේගය සීමා කිරීම හෝ දුම්රිය ආරක්ෂිතව නවතා ගැනීමට සිදුකර තිබුණි.

මෙම වැඩපිළිවෙල පිළිබඳ අවසන් නිගමනය ඉදිරි සතිය තුළ ගැනීමට නියමිතය.

වන අලින් වැඩි වශයෙන් ගැවසෙන බවට හදුනාගත් ස්ථාන සියල්ලටම ආරක්ෂිත කැමරා සවි කිරීම දුම්රිය දෙපාර්තුමේන්තුවේ සැලසුම වී ඇත.

මීට පෙර සිටි රජයන් යටතේද දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන් යටතේද වන අලි දුම්රිය ගැටීම් පිළිබද විවිධ සැලසුම් හා ව්‍යාපෘති සැකසුනද එකදු වැඩපිළිවෙලක් හෝ සාර්ථක නොවීය.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ තොරතුරු වලට අනුව පසුගිය වසරේදී දුම්රියේ ගැටී වනඅලි විස්සක් මියගොස් තිබෙන අතර මේ වසරේ ගෙවුණු මාස හතක කාලය තුළ වන අලි දොලොස් දෙනෙකු දුම්රියේ ගැටී මියගොස් ඇත.