අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුළෝචනා හෙට්ටිආරච්චි සඳහන් කකළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවයි.
දැනගන්නට ලැබුණ තොරතුරු මත පමණක් අද දින අධිකරණය හා පෙනී සිටින බවත් ඇය පැවසුවා.
ඒ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි විධිමත්ව කාර්යාලයට භාරදී තිබුණත් කිසියම් අතපසුවීමක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වන්නට ඇතැයි කියා සිටියා.
එහෙත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අද දින අධිකරණය පෙනී සිටින බැවින් මෙම පෙත්සම සලකා බැලීමට අද දින හැකියාවක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.
