උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 25 හැවිරිදි මවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.
ඊට අමතරව පැමිණිලිකාර කාන්තාවට රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා, එය පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 03 ක සිර දඩුවමක් නියම කරන බවයි සඳහන් කළේ.
ඊට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙසටද විත්තිකාර වෛද්‍යවරයාට තවදුරටත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්න්නේ නම් ඔහුට තවත් වසරක සිර දඬුවමක් නියම කර සිටියා.
විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් නගනු ලැබ ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලිකාර පාර්ශවය සමත්ව ඇති බව දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැවසුවා.
ඒ අනුව, විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති ස්ත්‍රී දූෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා.
මෙලෙස දඩුවම් නියම වූයේ අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි වෛද්‍යවරයෙකුටයි.
2020 වසරේ දී ජනවාරී මස 20 හෝ ඊට ආසන්න දිනයකදී මෙම වරද සිදුකර ඇති බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා.
