තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීම් කර තිබුණා.
නමුත් එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කර තිබෙනවා.
රාජිත සේනාරත්න මහතාට හෙට (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළා.
ඉන් අනතුරුව පෙත්සම සැප්තැම්බර් මස 10 වන දා කැඳවීමටද නියෝග කළා.
නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස රාජිත සේනාරත්න මහතා නම්කර තිබෙනවා.
