කෝවිල් පෙරහරක පත්තු නොවූ මල් වෙඩිල්ලකට පයින් ගැසීමට ගිය බැතිමතකු මල් වෙඩිල්ල සරම තුළට ගොස් පුපුරා යාමෙන් මියගොස් ඇතැයි තඹලගමුව පොලිසිය පවසයි.
මෙම සිදුවීම තඹලගමුව මොල්ලිපොතාන සදාම් නගර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය අතරතුර ඊයේ (06) සිදුව ඇත.
මෙම කෝවිලේ දෙවියන් රැගෙන පෙරහරෙන් වීථි සංචාරය කිරීම පෙරේදා රාත්‍රියේ සිදුව ඇති අතර එම පෙරහර පවත්වන අවස්ථාවේ එය විචිත්‍රවත් කිරීම සඳහා සංවිධායකයන් විසින් මල්වෙඩි තුනක් මිලදී ගෙන තිබුණේ රුපියල් පනස්දහසක මුදලකටය.
මේ අනුව දල්වන ලද මල් වෙඩි තුනෙන් මල් වෙඩි දෙකක් දැල්වී ඇතත් එක් මල් වෙඩිල්ලක් දැල්වුවද එය පුපුරා ගොස් නොතිබිණි.
පෙරහර පැමිණෙන මාර්ගයේ දෙපස තබා මල් වෙඩි දැල්වීමට කටයුතු කර තිබූ අතර ඉන් එක් වෙඩිල්ලක් දැල්වුව ද එය පුපුරා යාම සිදු නොවීය. පුපුරා නොගිය මල් වෙඩිල්ල පෙරහර ආසන්නයේම තිබීම හා පෙරහරේ ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයකු එය දැක කිසිවකුට හෝ අනතුරක් වේ යැයි සිතා එයට පයින් ගසා ඇත.
ඒ සමගම ගිනිපුළිඟු විදිමින් ඉහළට යාම ආරම්භ වූ මල් වෙඩිල්ල පිවිසියේ පයින් ගැසූ පුද්ගලයා හැඳ සිටි සරම තුළටය. ඉන් ගැලවීමට ඔහු කෑ ගසමින් කොතෙකුත් වෑයම් කළ ද මඳ වේලාවකින් මහ හඬක් නංවමින් වෙඩිල්ල එම පුද්ගලයාගේ කකුල් දෙක මැද පුපුරා ගොස් ඇත.
ඒ සමගම බිම ඇද වැටුණු පුද්ගලයා තඹලගමුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කළද ඔහු මියගොස් තිබිණි.
මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පැවැත්වූ අතර මරණකරුගේ ලිංගේන්ද්‍රිය සහ යටි බඩ පිපිරීම හේතුවෙන් වූ තුවාල හා හානිය මත මරණය සිදුව ඇතැයි තීන්දු කෙරිණි.
(source – aruna)
