Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රදීප් නිලංග දෑලට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට දින නියම කෙරේ

1 year ago

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංග දෑල කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සම සලකා බැලීම සඳහා මෙම මස 23 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණු අතර, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

හිටපු දියවඩන නිලමේවරයා වූ නිලංග දෑලගේ ධුර කාලය පසුගිය 07 වැනි දිනෙන් අවසන් වූ බවත්, ඉන් අනතුරුව විහාර හා දේවාල ගම් පනතේ විධිවිධාන ප්‍රකාරව උභය පාර්ශ්වයේ විහාරාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල පත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙන බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.

හිටපු දියවඩන නිලමේවරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පෙත්සම්කරු පෙන්වා දී ඇති අතර, එම වාතාවරණය හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාල ගම් පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව, වගඋත්තරකාර හිටපු දියවඩන නිලමේවරයා අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ.