Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශේෂඥ දොස්තර නෝනාගේ පත්වීම් ලිපිය හැංඟූ නෑණාට ඇප

1 year ago

කායික රෝග විශේෂඥ වෛද්‍යවරියක ලෙස නව පත්වීමක් ලද වෛද්‍යවරියකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් එවූ පත්වීම් ලිපිය සොරා ගත්තැයි ඇගේ නෑනා රුපියල් 10,000 ක මුදල් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් තිලීසියන් පෙරේරා නි‍යෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ මෙම සිද්ධියේ පැමිණිලිකාර කායික රෝග විශේෂඥ  වෛද්‍යවරියගේ නෑනා යි. (සැමියාගේ සහෝදරිය)

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක්.

වෛද්‍යවරියක ලෙස සේවය කළ තමාට කායික රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරි තනතුර ලද බවත් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  තැපල් මගින් තමාට යොමු කර තිබූ බවත් පැමිණිලිකාරිය සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එලෙස තැපල් මඟින් තමාට යොමු කර තිබූ  කායික රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරි පත්වීම් ලිපිය අස්ථාන ගත වී ඇති බවත්  එම තත්වය මත තමාට කායික රෝග විශේෂඥ වෛද්‍ය නිලධාරි නව තනතුරේ වැඩ බාර ගැනීමට නොහැකිව සිටින බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණය දැනුම් දුන්නා.

ඒ අනුව මුලික විමර්ශන පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් එහිදී සැකකාරියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.

අදාළ ලිපිය පැමිණිලිකාරියගේ නිවෙසට තැපැල් මඟින් ලැබෙද්දී එම නිවෙසේ සිට ඇත්තේ සැකකාර නැණා බැවින් ඇය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ කීර්ති දුනුසිංහ මහතා සඳහන් කළේ පොලිසිය තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ බුද්ධිමය දේපල පනත යටතේ බවත් එය  මුඑමනින්ම නීතියට පටහැනි බවත්ය.

පැමිණිළිකාර වෛද්‍යවරියගේ පත්වීම් ලිපිය අස්ථාන ගතවී ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නැවත පත්වීම් ලිපියක්  ලබා ගත හැකි බව කියා සිටි නීිතිඥවරයා ලියුම්  බෙදන්නා බාර දුන් බව කියන පත්වීම් ලිපිය තම සේවාදායිකාව පැහර ගත් බවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව තම සේවාදායිකාව  ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥවරයා අධිකණයෙන්  ඉල්ලා සිටියා.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි ලබන 01 වැනිදාට නියම විණි.