Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය ගැන හිටපු ජනපති මහින්ද තැබූ සටහන

1 year ago

පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම භාරගනිමින්, සියල්ලටම ශක්තිමත්ව මුහුණදෙන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දුනිත් වෙල්ලාලගේ වෙනුවෙන් සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා.

හිටපු ජනපතිවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් සිය පියාගේ අහිමිවීමට මුහුණ දෙන්නේ ද වයස අවුරුදු 22ක් වැනි ඉතාමත් තරුණ වයසේදී වන බවයි.

එම සම්පූර්ණ සටහන පහතින්,

”මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි.

අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි.

අප සාර්ථක වන විට එම ජයග්‍රහණය දකින්නට ඒ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය දෙමාපියන් නොමැතිවීම අපව වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි.

මාගේ ජයග්‍රහණ හමුවේ දෙමාපියන්ව සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ දෙමාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය.

ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයම දිනා අවසන්ය.

ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි.

එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට භාරය”