Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අයිස් රජු සොයා මෙහෙයුමක්?

1 year ago

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධයෙන් මේ වන විට  අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන විට, එම ජාවාරම්වලට සම්බන්ධ දේශපාලන ජාලයන් හෙළිදරව් වෙමින් පවතින බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න  මහතා පවසනවා.

දකුණේ ක්‍රියාත්මක අයිස් රාජධානිය සහ පාතාලය සමඟ සම්බන්ධකම් ඇති දේශපාලකයින් පිළිබඳව මන්ත්‍රීවරයා ඊයේ (22) පැවති රූපවාහිනි වැඩසටහනකදී අදහස් පළ කළා.

විශේෂයෙන් දකුණේ ක්‍රියාත්මක අයිස් රාජධානියක රජු කවුදැයි සොයා බැලිය යුතු බව ඔහු එහිදී අවධාරණය කළා.

පසුගිය වසර දහයක කාලය තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වත්මන් ආණ්ඩුව පත් වී මාස 8-9ක් වැනි කෙටි කාලයක් තුළදී අත්අඩංගුවට ගෙන ඇති බව සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

“මේ ආණ්ඩුව නොතිබුණා නම්, ඔය කුඩු අපේ තරුණ තරුණියන්ට, සමහරවිට පාසල් දරුවන්ට පවා යන්න තිබුණා,” යනුවෙන් ඔහු එහිදී කියා සිටියා.

අතීතයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා හෙලිකොප්ටර්වලින් පවා ගොස් උදව් කළ දේශපාලකයින් සිටි බවත්, මේ තත්ත්වය නැවත සිදු නොවනු ඇතැයි සහතික විය හැකිදැයි වැඩසටහන් පූර්වකයා විසින් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියා.

 ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ, අපරාධකරුවන් ආරක්ෂා කළ බවටත්, ඇතැම් ලිපිගොනු වැසූ බවටත් සමහර දේශපාලනඥයින්ම පිළිගෙන තිබෙන බවත්  එබැවින් පාලකයන්ද අපරාධකරුවන් බව පැහැදිලි වන බවයි.

නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ එවැනි දෙයක් සිදු නොවන බවට ජනතාවට සහතික වන බව සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ කවුරු හෝ නීති විරෝධී ක්‍රියාවක් කළහොත්, නීතිය ඔවුන්ටත් පොදු වන බවයි.

වසර 76ක් පුරාවට උඩුදිවූ පිළිකාවක් එක් දවසකින් සුව කිරීමට නොහැකියි බව පැවසූ  සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාලය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට කාලයක් ගතවන බවයි.

නමුත්, මෙම මත්ද්‍රව්‍ය ජාලය මේ වන විට හෙළිදරව් වී ඇති බවත්, එය මෙරටින් පිටතට පවා විහිදී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න මහතා :

” මේ ලංකා ඉතිහාසයේ ගොඩබිමෙ දැවැන්තම කුඩු තොගය සොයාගෙන තියෙන්නෙ මේ කාලය තුළ. මේ මම හිතනවා පසුගිය වසර දහය පරණ ආණ්ඩු එකතු කරගත්ත කුඩු ප්‍රමාණයට වඩා අපි මේ මාස අට නවයක එකතු වෙලා ආණ්ඩුවක් හදලා එකතු කරගත්ත කුඩු ප්‍රමාණය වැඩියි. මේ ආණ්ඩුව නොතිබුණා නම් ඔය කුඩු මේ රටේ තරුණ තරුණියන්ට යන්නෙ. මෙ රටේ අපේ සමහරවිට පාසල් දරුවන්ට යන්නෙ.

ඉතින් බලනකොට දකුණේ තිබිලා තියෙන්නේ ඉතිහාසයේ රාජධානියා නෙවේ අලුත් රාජධානියක් තිබිලා තියෙන්නේ. අයිස් රාජධානියක්. එතකොට ඔය අයිස් රාජධානියේ රජ්ජුරුවෝ කවුද. මේක හොයන්න ඕනේ. ඒව පෙරහරේ පස්සෙන් එනව. බලාගන්න පුළුවන් රාජධානියා ලොක්කෝ කවුද කියලා. මෙහෙම අහුවෙනකොට අර ඔක්කොම එක ගාලකට එනවා. එක ගාලකට ඇවිල්ලා කියනවා අපි ඔක්කොම ඇවිල්ලා මේ ජාතික ජන බලවේගය ආණ්ඩුව පෙරලෙනවා කියලා මේ රට පෙරලපු මිනිස්සු. රටක් වනසපු මිනිස්සු. දේශපාලනයත් එක්ක කුඩු තිබුණා. ඔය දේශපාලනයත් එක්ක පාතාලේ තිබුණා.  මේ ඔක්කොගෙම දැන් මුල් පෑදිලා තියෙන්නේ. බය වෙන්න එපා කාලයක් යයි සුද්ද කරන්න. හැබැයි ඔක්කොම ජාලය දැන් අහුවෙලා තියෙන්නේ. ජාලය මතුවීගෙනන යනවා. ඒ ජාලය සමහර ඒවා තියෙන්නේ මෙහේ නෙමෙයි ලංකාවෙන් පිට නේ තියෙන්නේ. ඒවත්  එකින් එක  ඔක්කොම පාදනවා. කාලයක් යයි. මොකද වසර හැත්ත හයක් උඩුදුවපු පිළිකාවක් දවසෙන් සනීප කරන්න බෑනේ. ලෙඩාටනම් ඕනි දවසින් ටිකට් කපල ගෙදරර යන්න. දවසින් රට හදන්න. නමුත් ඔබ කවුරුත් තේරුම් ගන්න වනසල තියෙන වැනසීම සුළු පටු එකක් නෙමෙයි. ඒක තමයි බරපතල ප්‍රශ්නේ.

ඔබ කිව්ව හරි.. චොපර් කතාව පැත්තකින් තියන්නකෝ, කෙලින් ඔය වේදිකාවේ කිව්වනේ, “මන් අපරාධකාරුවො රැක්කා. මම සමහරුන්ගේ ෆයිල් වැහුවා. ඒව තමයි මට දැන් මේ අනිත් පැත්තට පෙරලිලා බලය නැති වෙන්නේ හේතුව කියලා” දැන් පහුගිය දවස්වල එකතු වෙච්ච වේදිකාවේදීත් කිව්වනේ, බටලන්දේ අහවලා තමයි මිනී මැරුවේ කියලා. ඒ හින්දා මේ වල  අපරාධ කාරයෝ කියන එක තේරෙනවා. මේ පාලකයෝද අපරාධකාරයෝ කියලා තේරෙනවා. ඒ නිසා ඔබ දැන් ඇහුවේ ඒක මේ මොහොතෙත් වෙයිද කියල

එහෙම වෙන්නේ නැහැ. ඒක සහතික කරලා කියනවා. මේ රටේ ජනතාවට අපි පොරොන්දුවක් දීලා ආවා. මේ අපරාධ රාජ්‍ය මනුෂ්‍යත්වයෙන් පිරි රාජ්‍යයක් කරන බවට පොරොන්දු වුණා. ජාතිවාදය තුරන් වෙච්ච ආගම්වාදය තුරන් වෙච්ච. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. කාටත් තමන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඒඅනුව  ජීවත් වෙන්න සියලු දෙනාගේ ආගම් තම් තමන්ට නිදහසේ අදහන්න පුළුවන් වටපිටාවක් හදන්න ආවෙ. ඔය නීතිය ක්‍රියාත්මක වෙනකොට දැන් අපේ දේශපාලන ව්‍යාපාරයේ කවුරුහරි මොකක් හරි වුනොත්, කියන්න බැහැනේ මේ මිනිස්සුනේ. අපේ කෙනෙක් අතින් යම් වැරැද්දක් වෙනවා, නීති විරෝධී දෙයක් වෙනවා නම් ඒ නීතිය එයාටත් පොදුයි. මේ නීතිය කියන එක හැදුවේ කාගෙන්වත් පළිගැනීම උදෙසා නෙවෙයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය. පරීක්ෂණය කරන්නේ පොලිසිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස් දුෂණ වංචා දූෂණ කොමිෂන්  තමයි ඒවා කරන්නේ. අපි කරන්නේ ඒකට අදාල බලය දීලා  ස්වාධීනත්වය දීම. බලපෑම් නොකර ඒ කට්ටියට අදාල රාජකාරිය කරන්න දීම”