2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු කළා යැයි කියන සිද්ධියට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජනවාරි 16 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියෝග කළා.
මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේ, පෙර නඩු දිනයේදී සිද්ධියට අදාළ සැකකරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බවයි.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලට අනුව, හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට අල්ලස් පනත යටතේ දුෂණය නැමති චෝදනාව යටතේ නඩු පැවරීමට හැකියාව පවතින බව පෙන්වා දෙමින්, අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ, 2015 පෙබරවාරි 27 වැනිදා පැවති බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදුකිරීම ඇතුළුව, අධිචෝදනා 23ක් යටතේ අදාළ නඩුව පවරා ඇති බවයි.
