Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැකෝ සමන්ගේ බිරිඳ ඇතුළු සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් ගැන අනාවරණයක්

1 year ago

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලිසිය පැවසුවා.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණා.

මෙම සැකකාරියගේ සහෝදරිය වන ලක්ෂානි දේශාංජලී නමැත්තියගේ බැංකු ගිණුම් දෙකක 2024 වසරේ රුපියල් ලක්ෂ 563ක මුදලක් සහ 2025 වසරේ රුපියල් ලක්ෂ 202ක් මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි ද ඇය පැවසුවාය.

මෙම සැකකාරියගේ පියා වන පත්තිනිගේ සුනිල් ශාන්ත නමැත්තාගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 211ක් මුදලක් සංසරණය වී ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ මෙතරම් විශාල මුදලක් සංසරණය වූයේ කෙසේදැයි බරපතළ සැකයක් මතුවන බවත් සඳහන් කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම හරහා මෙම මුදල් සංසරණය වන්නට ඇතැයි සැකකරන පොලීසිය එම මුදල් තැන්පත් කළ පුද්ගලයින් හා ඒ හා සම්බන්ධ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පෙන්වා දුන්නාය.

ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණා.