Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහනුවර තැන්නේකුඹුර පාලම යට සිටි සිසුන් දෙදෙනෙක් අතුරුදන් වෙයි

1 year ago

මහනුවර තැන්නේකුඹුර ප්‍රදේශයෙන් ඊයේ (08) පස්වරුවේ මහවැලි ගංගාවට බැස්සේ යැයි පැවසෙන පාසල් සිසුන් දෙදෙනකු අතුරුදහන් වීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.                                                                                                                                       

මෙසේ අතුරුදහන්ව ඇත්තේ තැන්නේකුඹුර ප්‍රදේශයම පදිංචිකරුවන් වන මහනුවර නගරයේ පාසලක 09 වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි රවිචන්ද්‍රන් ජෙගදිස් හා මහනුවර නගරයේ පාසැලක 08 වසරේ ඉගෙනුම ලබන එම්.මිලාන් නමැති සිසුන් දෙදෙනෙක්.                                           

මෙම සිසුන් දෙදෙනා ඊයේ (08) දින පස්වරුවේ සුරතල් මසුන් මිලදී ගැනීම සඳහා දිගන ප්‍රදේශයට යන බව පවසා නිවෙස්වලින් පිටව ගොස් ඇති අතර පසුව කීප දෙනෙකුම දැක ඇත්තේ එම දෙදෙනා තැන්නේකුඹුර පාලම යට මහවැලි ගංගාවේ ගල්තලාවක ඇවිදිමින් සිටි බවයි.

ප්‍රදේශයේ මසුන් මරන්නකු සඳහන් කළේ මෙම සිසුන් දෙදෙනා එම ගල්තලාව මත සිටියදී ඔවුනට ජලයට නොබසින ලෙස තමා අවවාද කළත් තමන්ට පිහිනීමට හැකි බව එම සිසුන් පැවසූ බවයි.

නමුත් මද වේලාවකින් බලනා විට සිසුන් දෙදෙනා එම ස්ථානයේ දක්නට නොලැබුණු බැවින් ඔවුන් ගල්තලාවෙන් ඉවතට ගිය බව සිතූ බවත් මඳ වේලාවකින් වර්ෂාව හේතුවෙන් මහවැලි ගංගාවේ ජලය වැඩි වූ බවත් හෙතෙම පැවසුවා.                        

මෙම සිසුන් දෙදෙනා යැයි හැඟෙන දෙදෙනෙකු මහවැලි ගංගාවට බැස ගල්තලාවේ ඇවිදිමින් සිටින ආකාරය ද කීප දෙනෙකු දැක තිබුණා.

නමුත් අතුරුදහන්ව සිටින රාමචන්ද්රන් ජෙගදීස් සිසුවාගේ මව සඳහන් කරන්නේ තම පුත්‍රයාට පිහිනීමට නොහැකි බවත් ඔහු මහවැලි ගංගාවේ දිය නෑමට නොයන බවයි. ‍

නමුත් තැන්නෙකුඹුර ප්‍රදේශයේම පුද්ගලයෙකු සඳහන් කළේ මෙම අතුරුදහන් වූ සිසුන් දෙදෙනා දිය නෑම සඳහා මහවැලි ගඟට යන බව පවසමින් තම පුතුටද අඬ ගසා තිබුණද තම පුතා ඔවුන් සමග නොගිය බවයි.                                       

කෙසේ වුවද මහනුවර මූලස්ථාන පොලිසිය මෙන්ම බලගොල්ල පොලිසිය එක්ව අතුරුදහන් සිසුන් සෙවීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර නාවික හමුදාවේ කිමිදුම් කරුවන් යොදවා මහවැලි ගංගාවේ විමර්ශන කටයුතු ආරම්භ කරන බවද මහනුවර මූලස්ථාන පොලිසිය සඳහන් කළා.