පළාත් සභා මැතිවරණය පළාත් මට්ටමින් වෙන වෙනම පැවැත්වීමේ හෝ එකවර පැවැත්වීමේ තීරණය, මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව තීරණය කරන බව එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කරයි.
යම් යම් පළාත්වල මැතිවරණ ගැටලු නිසා පළාත් සභා මැතිවරණ වෙන වෙනම පැවැත්වූ අවස්ථාවන් සඳහා උදාහරණ පවතින බවත් ඔහු පැවසීය.
රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට සියලුම පළාත් සභා විසුරුවා හැර ඇති බැවින් මැතිවරණ එකවර හෝ පළාත් අනුව පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ ගැටලුවක් නොමැති බවය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව මඟින් පළාත් සභා පනත සංශෝධනය කරන තුරු, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.
එමෙන්ම පළාත් සභා මැතිවරණය 2026 වසරේදී පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මුදල් වෙන් කර ඇති බව ඔහු සඳහන් කළේය.
