Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උපාධි පාඨමාලා ප්‍රමාදවීම ගැන ජනපතිගේ අවධානය

1 year ago

උපාධි පාඨමාලා ප්‍රමාද වීම ඇතුළු විශ්ව විද්‍යාල පද්ධතියේ ගැටලූ රැසක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) අතර අද (20) පෙරවරුවේ සිදු වූ හමුවේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

එහිදී උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පසුගිය සමයේ විවිධ හේතු නිසා විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා ප්‍රමාද වීම සහ නිසි කාලය තුළ සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු සහ ආචාර්යවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳව මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගනිමින් ඒවා හැකි ඉක්මනින් අවසන් කිරීමටත්, එකතු වී ඇති කාර්ය කාර්යක්ෂමව ඉටු කිරීමටත්, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු වැඩිදියුණු කිරීමටත් අදාළව සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට දැනුම් දී ඇති අතර එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් රජය මගින් සලසා දීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ඔවුන් විශ්වවිද්‍යාල තුළ රඳවා ගැනීමත්, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමත් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණා.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය පී.ආර්. වීරතුංග, ලේකම් චාරුදත්ත ඉලන්ගසිංහ ඇතුළු එහි නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූණා.