Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බැකෝ සමන්ගේ බිරිඳට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

1 year ago

රිමාන්ඩ් බාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී නමැත්තිය ලබන 31 වෙනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා නියෝග කළා.

අදාල පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය විසින් විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව ඇය අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකාරිය, ඇයගේ සහෝදරිය සහ පියා ඇතුළු ඥාතීන්ගේ බැංකු ගිණුම් 36 ක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඒ හරහා රුපියල් මිලියන 147 කට අධික මුදලක් සංසරණය වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවයි.

මෙම සැකකාරියගේ බැංකු ගිණුම් වලට මුදල් තැන්පත් කළ පුද්ගලයින් සහ ඒවා තැන්පත් කළ ස්ථාන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව ඇය සඳහන් කළා.

ඊට අමතරව මෙම සැකකාරිය සහ ඇයගේ සැමියා විසින් පොලිසියට ලබාදෙන ප්‍රකාශ එකිනෙකට පරස්පර තත්ත්වයක පසු වීම හේතුවෙන් මෙම විමර්ශන කටයුතු සංකීර්ණ වී ඇති බවත් ඇය කියා සිටියා.

මෙම සැකකාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ 13 ක් සටහන් කරගෙන තිබෙන බවත් ඇය පිළිබඳව ආකාර දෙකකින් විමර්ශන මෙහෙයවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරිය පැවසුවා.

ඒ යටතේ එක් විමර්ශනයක් තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ඉදිරියට සිදුවන අතර ඒ තුළින් මෙම සැකකාරිය ශ්‍රී ලංකාවෙන් පලා යාමට පෙර භාවිතා කළ දුරකථනය ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවත් ඇය සඳහන් කළා.

ඊට අමතරව පසුගිය කාලයේ මෙම සැකකාරියගේ ගමන් පථය හඳුනාගැනීම සඳහා ඇයගේ ෆේස්බුක්, whatsapp ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාල ඊමේල් ලිපින සහ ඒවායේ මුර පද සොයා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම දුරකථනය මේ වන විට සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා සැකකාරියගේ ඊමේල් ලිපිනය ඔස්සේ ඊට අදාල දත්ත සොයා ගැනීමට විමර්ශන සිදුකෙරෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය පැවසුවා

මෙම සැකකාරියගේ සැමියා සහ ඇයගේ පියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලබාදී ඇති ප්‍රකාශ එකිනෙකට පරස්පර තත්ත්වයක පවතින අතර ඒ නිසා විමර්ශන කටයුතු සංකීර්ණ වී ඇති බවත් එම නිසා මෙම විමර්ශන කටයුතු වෙනුවෙන් ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වී තිබෙන බවත් ඇය සඳහන් කළා.

මෙය ඉතා සංකීර්ණ විමර්ශනයක් බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය මෙම අවස්ථාවේදී සැකකාරියට ඇප ලබා දුනහොත් ඉදිරි විමර්ශන වලට බාධා සිදුවිය හැකි බවත් අධිකරණය හමුවේ අවධාරණය කළා.