රත්මලානේ දී ඊයේ (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයට පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු කිහිපයක් මේ වනවිට අනාවරණය වී තිබේ.
ඊයේ(25) පස්වරුවේ පිළියන්දල, සුවාරපොල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධක රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සුවාරපොළ සිට රත්මලාන දෙසට ගමන් කරමින් සිටි වෑන් රථයක් පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙසට අණ කර තිබෙනවා.
කෙසේ නමුත් එම රථය අණ නොතකා ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් පසුපස හඹා ගොස් රත්මලාන බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ව්ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට වෙඩි තබා තිබේ.
කෙසේ නමුත් වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර රත්මලාන දුම්රියපොළ ඉදිරිපිට දී වෑන් රථයේ රියදුරු රථය නවත්වා පලායෑමට උත්සාහ දරා තිබේ.
එහිදී ඔහු බිම ඇද වැටීමෙන් තුවාල සිදුව ඇති අතර, ඒ හේතුවෙන් 1990 ගිලන්රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පැවසීය.
ඔහු සංචාරක ව්‍යාපාරයට අදාළ රැකියාවක් සිදුකරන 29 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද පොලිසිය සඳහන් කළා.
ඉහත වාහනයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.
