තමාට අයත් සුඛෝපභෝගී බස් රථයක් මොනරාගල – කොළඹ මාර්ගයේ ධාවනය කිරීම සඳහා ඌව පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් ඔහුගෙන් මාසිකව රුපියල් ලක්ෂ තුන හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව ‘බැකෝ සමන්’ අනාවරණය කර තිබෙනවා.
‘බැකෝ සමන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයා ගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය පසුගියදා සමත් වී තිබුණා.
මෙම බස් රථ දෙකෙන් එකක් කොළඹ – මොනරාගල මාර්ගයේ ධාවනය සඳහා බලපත්රයක් ඉකුත් මාර්තු මාසයේ කල් ඉකුත් වී ඇති අතර, එහිදී හිටපු සභාපතිවරයා ‘බැකෝ සමන්’ගේ පාර්ශ්වයට දන්වා ඇත්තේ “ප්රශ්නයක් වුණොත් මම බලාගන්නම් බස් එක දුවන්න” යනුවෙන් බවයි සඳහන්.
‘බැකෝ සමන්’ අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහුගේ මස්සිනා මෙම මුදල් ගනුදෙනු සියල්ල සිදු කර ඇති අතර, ඒ අනුව පසුගිය මාසයේදී ද හිටපු සභාපතිවරයාගේ ගිණුමට එම මුදල බැර කර ඇති බවයි වැඩිදුරටත් සඳහන්.
ඒ අනුව, මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයා ප්රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරි සතියේදී බස්නාහිර උතුර පළාත් අපරාධ කොට්ඨාසය වෙත කැඳවීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.
