දේශපාලන බලපෑම් මත පත් වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ (NLB) ලොතරැයි අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙක් වසර ගණනාවක සිට මණ්ඩලයට හිමි මිලියන ගණනක මුදල් ආපසු නොගෙවීම පිළිබඳ විශේෂ හෙළිදරව්වක් සිදුව තිබෙනවා.
ඊයේ (29) මෙම හෙළිදරව්ව සිදු කර ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදීයි.
එහිදී ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ගෙවීම් නොකළ හිඟ මුදල්, ඥාති සංග්‍රහයන් සහ රාජ්‍ය අරමුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධ සිද්ධි මාලාවක් පිළිබඳව විස්තර කර තිබෙනවා.
ඔහු මෙහිදී පවසා තිබුණේ දේශපාලන නිර්දේශ මත පත් වූ ඇතැම් දිස්ත්‍රික් නියෝජිතයන් වසර පහකට වැඩි කාලයක් තිස්සේ හිඟ මුදල් ගෙවා නැති බවයි.
එවකට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නිර්දේශය මත 2016 දී පත් කරන ලද ලකීෂා තරංගිකා රාජපක්ෂ නැමැති නියෝජිතවරිය, 2019/20 වසරේ සිට රුපියල් මිලියන 9.8ක මුදලක් ගෙවීමට ඉතිරි වී තිබෙනවා.
සභාපතිවරයා සඳහන් කරන්නේ ඇය අමාත්‍යවරයාගේ නෑනා බව ඇයගේ විවාහ සහතිකය මගින් තහවුරු වී ඇතැයි බවයි.
කෙසේ වෙතත් මේ මුදල්වලින් කොටසක් මණ්ඩලයේ තවත් පුද්ගලයෙකුට ලබා දුන් බව පැවසුණ ද, දේශපාලන සබඳතා සහිත ඔහු ද මේ වන විට සොයා ගත නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.
මෙම අනාවරණයට අනුව තවත් නියෝජිතවරියක් වන දිසානායක මුදියන්සේලාගේ ගීතා නන්දනී, 2019 වසරේ සිට රුපියල් මිලියන 2.1ක මුදලක් ගෙවීමට ඉතිරි වී තිබෙනවා.
ඇයගේ අයදුම්පත්‍රයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේගේ විද්‍යුත් තැපැල් ලිපිනය සඳහන් කර තිබි ඇති අතර, ඇයගේ විවාහ සහතිකය මඟින් ඇය ඔහුගේ භාර්යාව බව තහවුරු වී ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
මීට අමතරව දුමින්ද දිසානායක, නවීන් දිසානායක, ගාමිණී ලොකුගේ ඇතුළු එවක රජයේ මැති ඇමතිවරුන් සහ දේශපාලන නිලතල දැරූවන් කිහිප දෙනෙකු ද අලෙවි නියෝජිතයන් නිර්දේශ කර ඇති බව සඳහන්.
මෙම අරමුදල් අයුතු ලෙස පරිහරණය කිරීම රාජ්‍ය දේපළ පනත යටතේ වරදක් ලෙස සැලකෙන බව සභාපතිවරයා අවධාරණය කර සිටියා.
කෙසේ වෙතත් මෙතෙක් මේ සඳහා නීතිමය පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව වංචා විමර්ශන ඒකකයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි ඉදිරිපත් කරන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
වංචා සිදුවී ඇති බව කියන කාලසීමාවේ විෂයභාර අමාත්‍යවරයා වූ රවී කරුණානායක ගෙන්, මේ පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ මෙම කටයුතු පිළිබඳ සොයා බැලීම පරිපාලනයේ වගකීමක් බවයි.
