මිනුවන්ගොඩ හුරීගහමුල හන්දිය ප්රදේශයේදී ඊයේ (01) අළුයම යතුරුපැදියක් පදවාගෙන ඒකල ගුවන් හමුදා කඳවුර වෙත ගමන් කරමින් සිටි ගුවන් හමුදා සෙබළියක් මෝටර් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන මුළුගහවත්ත, බෝවත්ත, යක්විල පදිංචි 29 හැවිරිදි විවාහක ගුවන් හමුදා සෙබළියක්.
මියගිය ගුවන් සෙබළිය ඊයේ (01) ඒකල ගුවන් හමුදා කඳවුරේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට සහභාගී වීම සඳහා සිය යතුරුපැදියෙන් ඒකළ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.
මිනුවන්ගොඩ දෙස සිට දිවුලපිටිය දෙසට පැමිණි කන්ටේනර් රථයකට පිටුපසින් පැමිණි මෝටර් රථයක් කන්ටේනර් රථයට ඉස්සර කිරීමට ගිය අවස්ථාවේදී දිවුලපිටිය දෙස සිට මිනුවන්ගොඩ දෙසට යතුරු පැදිය පදවාගෙන යමින් සිටි ගුවන් හමුදා සෙබළිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ ගුවන් හමුදා සෙබළිය මිනුවන්ගොඩ රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව රෝහල් ප්රකාශකයෙක් පැවසුවා.
සැකකාර මෝටර් රථ රියදුරා මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්රාත් ලලනි බුලත්සිංහල හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට නියෝග කර තිබේ.
මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
