මධ්‍යස්ථාන හරහා ලොකු ලූනු මිලදී ගැනීමේදි වට ප්‍රමාණයේ මැන බැලීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසනවා.
එම ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ, ලූනු ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් සිදු නොකරන බවත් අදාළ නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර අදාළ මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සිදු කරන බවයි.
ගොවීන්ගේ ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමේ ගැටලුව විසඳීම සඳහා ලංකා සතොස ආයතනය ලොකු ලූනු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ පසුගියදායි.
එහෙත්, ඒ සඳහා කොන්දේසි 17ක් පැනවූ අතර ඒ අනුව ලොකු ලූනු ගෙඩියක විශ්කම්භවයය 35-65mm අතර විය යුතු බවත්, ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණක් අන්තර්ගත විය යුතු බවත් එම කොන්දේසි අතර සඳහන් වුණා.
කෙසේ වෙතත්, මෙම නිර්නායක පැනවීමත් සමග ගොවීන් රැසක් ඊට විරුද්ධ වී ඇත්තේ එම නිර්ණායක සම්පූර්ණ කරන ලොකු ලූනු අස්වැන්නක් තමන් සතුව නොමැති බව පවසමින්.
මෙම ලූනු මිලදී ගැනීම සම්බන්ධයෙන් සතොස බලධාරීන් විසින් පැහැදිලි කිරීමක් කරනු ලැබූ අතර එහිදී ලූනු ගෙඩියේ මිනුම් පිළිබඳවද යළි පැහැදිලි කිරීම්ක් කළා.
එහිදී අදහස් දක්වමින් ලංකා සතොස ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු මිලදී ගැනීමේදි ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් අදාළ මධ්‍යස්ථාන තුළදී සිදු නොකරන බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
“සඳහන් වුණා අපි වට මැනීමක් සිදුකරනවා කියලා. නමුත් ප්‍රමිතියේ වත් වට මැනීමේ වත් සඳහන් වෙලා නෑ. අපේ ප්‍රමිතියේ සඳහන් වෙලා තියෙන්නේ විෂ්කම්භය, විෂ්කම්භය කියන්නේ ලූනු ගෙඩියේ හරස් කඩ කැපුවාම එක් විෂ්කම්භය තමා ගන්නේ. නමුත් ක්ෂේත්රයේදී කිසිම වෙලාවකට ලූනු ගෙඩියේ මැනීමක් සිදුකරන්නේ නෑ අපේ නිලධාරීන් ඇස් මට්ටමින් තමයි පරීක්ෂා කරන්නේ. කිසිම අවස්ථාවක කිසිදු මධ්‍යස්ථානයක ප්‍රමාණය මත ලූනු ප්‍රතික්ෂේප වෙලා නෑ.”
