Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉතිහාසයේ පළමුවරට ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගම් හතරකට ටෙන්ඩර් තහනමක්

1 year ago

මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හතර දෙනෙකුට මාස 6ත් වසර 3ත් අතර කාලයක් සඳහා ටෙන්ඩර් ඉදිරිපත්කිරීම තහනම් කරමින් අසාදු ලේඛනගත කර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින්.

මෙවැනි ක්‍රියාමාර්ගයක් මහාමාර්ග අංශය යටතේ ක්‍රියාත්මක කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව ලෙසයි සඳහන්.

අදාළ තහනම යටතේ මෙම සමාගම් හතරට අමාත්‍යාංශයේ විෂය පථය තුළ කිසිදු නව කොන්ත්‍රාත්තුවක් හෝ උප කොන්ත්‍රාත්තුවක් සඳහා එළඹීම ද තහනම් කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ එක් කොටසකට අදාළව ලාභදායී කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම සඳහා මෙම සමාගම් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවත් ඒ හේතුව මත මෙම තහනම සිදුකර ඇති බවද සඳහන්.

මෙම තහනම පනවා ඇත්තේ 2024 දී ප්‍රකාශයට පත් කර, මේ වසරේ ජනවාරි මාසයේ සිට බලාත්මක වූ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මතයි.

වංචනික හා දූෂිත ක්‍රියාවන් අවම කිරීම මෙම නව මාර්ගෝපදේශවල අරමුණ වනවා.

මෙසේ අසාදු ලේඛනගත කළ සමාගම් හතරම, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් පිරිනමනු ලබන ඉහළම වර්ගීකරණය වන CS2 ශ්‍රේණියට අයත් වීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් අදාළ සමාගම්වලට මෙම තීරණය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකි බව වාර්තා වනවා.