අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ඉදිරිපිට අද (04) උදෑසන සිදු වූ වෙඩිතැබීමකින් 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් ඇත.
ඔහු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයක පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.
අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කරන්දෙණිය එගොඩවෙල මංසන්ධියේ දමා ගිය සැකකරුවන්ගේ මෝටර් රථය සොයා ගෙන ඇත.
එලෙස මියගිය පුද්ගලයා 54 හැවිරිදි අම්බලන්ගොඩ, පෝරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජනබලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟවැද පරාජයට පත්ව ඇති බවය.
එමෙන්ම ඔහු විදෙස්ගතව සැඟවී සිටින අපරාධකරුවකු වන ‘කරන්දෙණිය සුද්දා’ නම් අපරාධකරුගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.
පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කපු මහතා ප්‍රධානත්වය දරන මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ලෙසද ඔහු කටයුතු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
ව්‍යාපාරිකයෙකු වන එම පුද්ගලයා ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.
