Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වරෙන්තුව ගැන ජගත් මනුවර්ණගෙන් ප්‍රකාශයක්

1 year ago

තමන් කිසිසේත්ම අධිකරණයෙන් හෝ නීති ක්‍රියාවලියෙන් මඟහැර නොසිටි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පවසනවා.

තමා අධිකරණය මගහැර සැගවී සිටින බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

පසුගිය අයවැය කතාවෙන් අනතුරුව පැවති තේ පැන් සාදයට තමන් සහභාගී නොවුණේ, වරෙන්තු පිට සිටීම හේතුවෙන් මාධ්‍යයෙන් සැඟව සිටීමට අවශ්‍ය නිසා බවට මාධ්‍ය වාර්තා පළ කර තිබුණු බව ඔහු එහිදී කියා සිටියා.

මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ, මෙම නඩුව වසර 17ක් තිස්සේ විභාග වන බවත් තමන් කිසිම අවස්ථාවක අධිකරණය මඟහැර නොමැති බවයි.

නිශ්චිත දිනක උසාවියට ඉදිරිපත් වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ලියකියවිලි ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කළ නමුත්, අධිකරණය එය ප්‍රතික්ෂේප කර ඇති අතර, එය අධිකරණයේ අභිමතය බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

කෙසේවෙතත්, වරෙන්තුව නිකුත් වූ පසුවදාම තමන් මෝසමක් දමා උසාවියට ඉදිරිපත් වී, එම වරෙන්තුව කැඳවා ඇති බවට පෙන්වාදුන් මන්ත්‍රීවරයා, නඩුවේ කටයුතු සඳහා නිසි ආකාරයෙන් සහභාගී වන බවත් එහිදී කියා සිටියා.

ඔහු අවධාරණය කළේ මාධ්‍යය විසින් තමන් උසාවිය මගහරිමින් සිටින බවට නැවත නැවත වාර්තා කිරීම හේතුවෙන් තමන් පමණක් නොව, මෙරට පොලිස් සේවය අපහසුතාවයට පත්වන බවයි.

මෙවැනි වාර්තාකරණයන් නිසා පොලිසිය ඔවුන්ගේ රාජකාරිය අකුරට ඉටු නොකරන බවට ජනමතයක් සමාජගත වීමට හැකි බවද මන්ත්‍රීවරයා පවසනවා.

එමෙන්ම නීතිමය ක්‍රියාවලියට තමන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජගත් මනුවර්ණ මහතා වැඩිදුරටත් කියා සිටියා.