වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිංකිණි විරාජමහා විහාරස්ථානය අසල පවත්වාගෙන ගිය පෙර පාසලක් සහිත ඉඩම් කොටසක් සම්බන්ධයෙන් එම පෙර පාසලේ ගුරුවරිය සහ ගම්වාසීන්, භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් ඊයේ(18) හටගෙන තිබෙනවා.
අදාළ ඉඩම් කොටස නීත්‍යානුකූලව විහාරස්ථානය සතු බවට ලියකියවිලි තිබියදී, පෙර පාසල පවත්වාගෙන යන පුද්ගලයන් එම ඉඩමට අයිතිවාසිකම් කීමට උත්සාහ කිරීම ගැටුමට හේතුව බව ගම්වාසීන් චෝදනා කළා.
පවතින වැට ඉවත් කර නව වැටක් ඉඳිකිරීම සඳහා ගම්වාසීන්, දායක සභාවේ පිරිස් සහ ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට ගොස් ඇති අවස්ථාවේදී, අදාළ පෙර පාසලේ පාලිකාව ඇගේ ස්වාමිපුරුෂයා සහ තවත් පුද්ගලයෙක් කැති පොලු රැගෙන පැමිණි ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසට පහර දීමට උත්සාහ කර තිබෙනවා.
කෙසේවෙතත්, පැමිණි පිරිස එම විරෝධය නොතකා, අදාළ ඉඩම් කොටස සහිත ප්‍රදේශය වැටක් සවිකර යළි විහාරස්ථානයට එක් කිරීමට පියවර ගෙන තිබුණා.
