Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකාගේ නඩුවකට අධිකරණයෙන් දුන් නියෝගය

12 months ago

කුරුඳුවත්ත, නිදහස් චතුරශ්‍රය ආසන්නයේදී නීති විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟදැක්වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 15 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, යළි මාර්තු 16 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව 08 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම නියෝගය නිකුත් කළා.

එම අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර පාර්ශ්වය අධිකරණය හමුවේ පෙනී සිට තිබුණා.

2022 නොවැම්බර් මස 14 වැනි දින නිදහස් චතුරශ්‍රය අසලදී, පොලිස් ආඥා පනත සහ මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් වීදි නාට්‍යයක් රඟ දැක්වීමට කටයුතු කිරීම තුළින් මංමාවත් අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළා.

නඩුව කැඳවූ අවස්ථාවේදී පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ, අදාළ විමර්ශන අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇතත්, මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නඩුව මාර්තු 16 වැනිදාට කල් තබමින්, එදිනට නඩු කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසට පොලීසියට නියෝග කර තිබෙනවා.