දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වූවන්ගේ මානසික සුවතාවය ඉහළ නැංවීමේ අරමුණින් ආරම්භ කළ ‘Beyond Recovery’ නව වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් පුහුණු කිරීමේ මූලික වැඩමුළුව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
මෙම වැඩමුළුව යටතේ ආපදාවට ලක්වූ ප්‍රධාන දිස්ත්‍රික් 6ක මානසික සුවය සම්බන්ධව අවබෝධයක් තිබෙන දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් තෝරාගෙන ඔවුන් පුහුණු කිරීම මේ යටතේ සිදු කෙරෙන අතර, එම පුහුණු වැඩසටහන් මෙරට මානසික සුවතාවය පිළිබඳ ප්‍රවීනයන් විසිනුයි සිදු කරනු ලබන්නේ.
ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල සුරක්ෂා මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක කළ යුතු විද්‍යාත්මක වැඩසටහන් සැකසීම මෙන්ම උපදේශන මාලාවන් නිර්මාණය කිරීම ඇතුළු මානසික උපදේශන වැඩසටහන් සම්බන්ධවද මෙම මූලික වැඩසටහනේදී සාකච්ඡා කර තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ මෙරට සමාජයීය ආචාරධර්ම සහ පාරිසරික යහපැවැත්ම උසස් මට්ටමකට ගෙන ඒම වන අතර, එය යථාර්ථයක් බව පත් කිරීමේ අරමුණින් මෙම ‘Beyond Recovery’ මානුෂීය මෙහෙයුම ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම වැඩමුළුවට සහභාගි වී පුහුණුව ලබන රාජ්‍ය නිලධාරීන් නුදුරේදීම සුරක්ෂා මධ්‍යස්ථාන හරහා ආපදාවට ලක්වූ ජනතාවගේ මානසික සුවතාවය ඉහළ නැංවීම උදෙසා වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ක්ලීන් ශ්‍රී ලංකා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනුර දිසානායක යන මහත්වරු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.
