වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.
එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් සිටියේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය.
එමෙන්ම මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද ග්‍රහණයේ සිටින බැවින් ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.
වෙනිසියුලාව සමග එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනිසියුලාවේ ජනතාව පොහොසත් සහ ආරක්ෂිත බවට පත් කරනු ඇති බවත් මේ තුළින් අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයින් අතිශයින්ම සතුටු වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් මධුරෝට සිදුවූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව තේරුම් ගත යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.
මේ අතර වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එරට උප ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස්ට නියෝගයක් නිකුත් කර තිබේ.
අමෙරිකානු හමුදා මෙහෙයුමක් මගින් රටින් පිටුවහල් කළ නිකොලොස් මධුරෝ නොමැති විට උප ජනාධිපතිවරිය විසින් එරට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස මෙමගින් නියෝග කර ඇත.
ඒ අනුව ජාතියේ පරිපාලන අඛණ්ඩතාව සහ පුළුල් ආරක්ෂාව සහතික කිරීම සඳහා වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ ජනාධිපති ධුරය ඇය විසින් භාරගනු ඇති බව අධිකරණ තීන්දුවේ සඳහන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
