Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සේවකයාගේ මිටි පහරින් හාම්පුතා මරුට

11 months ago

නිවෙසක පවත්වාගෙන යන බ්ලොක් ගල් වැඩපලක සේවකයකු විසින් ඉකුත් 02 වැනිදා එම නිවෙසේ අඹුසැමි යුවළකට මිටියකින් හිසට පහර දීමෙන් බරපතල තුවාල ලැබූ නිවෙස් හිමියා කළුතර නාගොඩ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (04) මියගොස් ඇතැයි කළුතර උතුර පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනය කර ඇත්තේ ගල්පාත, දියගම පදිංචි 35 හැවිරිදි අහංගම මෙරින්ඤ්ඤගේ ධනංජය ප්‍රියදර්ශන නැමැති ව්‍යාපාරිකයෙක්.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳ වන 42 කාන්තාවක්.

ඉකුත් (02) දා පෙ. ව. 5.00 ත්, 6.00ත් අතර කාලයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

මෙම නිවෙසේ කොන්ක්‍රීට් ගල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර මියගිය පුද්ගලයා එහි වැඩ කටයුතු සිදු කර ගැනීමට සැකකරු සම්බන්ධ කරගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

කුරුණෑගල, මාවතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සේවකයා එම නිවෙසේ උඩුමහලේ නවාතැන් ගෙන සිට ඇති බවද පොලිසිය පවසනවා.

ඔහු මාස 06 ක පමණ කාලයක සිට සේවය කර ඇති අතර පසුගිය 25 වෙනි දින ගමට ගොස් නැවත 30 දා සේවයට පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.

ඉකුත් (02) දා උදෑසන මෙම පුද්ගලයා විසින් නිදි ඇදේ සිටි පුරුෂයාගේ හිසට පහර දී ඇති අතර කාන්තාව නාන කාමරයේ සිට එළියට එන විට ඇයටද පහරදී ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

කාන්තාවගේ කෑ ගැසීම ඇසී අසල්වැසියන් පැමිණ බලන විට නාන කාමරයා අසල ලේ විලක් මැද වැටී සිටි කාන්තාව දැක ඇති අතර ඇය විසින් සැමියාට ද පහර දී ඇති බවත් ඔහුට අමාරු බවත් පවසා තිබූ බවට වාර්තා වෙනවා.

ඒ අනුව අසල්වැසියන් විසින් 1990 ගිලන් රථයෙන් තුවාලකරුවන් නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කළුතර උතුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති වන්නිනායක, ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.