බන්ධනාගාර ගතවී සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ලද බව කියන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් මහර බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු ඇතුලු තවත් ජාවාරම්කරුවෙකු ලබන 06 දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ බියගම පොලිසියට අවසරය ලබා දුන්නා.
බියගම පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස අවසර ලබා දුන්නා.
මෙලෙස රැඳවුම් නියෝග ලබා දෙනු ලැබුවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 යි මිලි ග්‍රෑම් 250 ක් ළඟ තබා ගෙන සිටි මහර බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකවරයෙකු හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 51 යි මිලි ග්‍රෑම් 130 ක් සහ හෙරොයින් ග්‍රෑම් 51 යි මිලි ග්‍රෑම් 650 ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකුටයි.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අජිත් විජේසිංහගේ උපදෙස් අනුව එහි අපරාධ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුනිල් ශාන්ත, උප පොලිස් පරික්ෂක දිනේෂ් ගුණරත්න , පොලිස් කොස්තාපල්වරුන් වන විදානපතිරණ ( 107162 ) හා ලහිරු ( 101603 ) යන නිලධාරීන් විසින් මේ දෙදෙනා සමග තවත් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණා.
නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සුසන්ත ( 35328 ) හා පොලිස් කොස්තාපල් සුපුන් ( 103656 ) යන නිලධාරීන් විසින් ඉන් බන්ධනාගාරයේ හිටපු ගබඩා පාලකගෙන් හා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්ව හසුවු ජාවාරම්කරුගෙන් මත්කුඩු ජාවාරම සම්බන්ධව තවත් දිර්ඝ ලෙස ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට තිබෙන හෙයින් එම දෙදෙනා දින හතක කාලයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබා ගත්තා.
