Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බලංගොඩ නගර සභාවේ නගරාධිපතිවරයා හදිසියේම ඉල්ලා අස්වෙයි! බෑගයත් රැගෙන සභාවෙන් පිටව යයි

11 months ago

ජාතික ජන බලවේගය නියෝජනය කරන බලංගොඩ නගර සභාවේ නගරාධිපති කේ.ජී. ප්‍රේමදාස මහතා අද (06) සිය ධුරයෙන් හදිසියේම ඉල්ලා අස්විය. අද දින පැවති නගර සභාවේ මාසික සභා රැස්වීම අතරතුර ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම විශේෂත්වයකි.

අද උදෑසන නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම ආරම්භ වූ අතර, ඔහු සාමාන්‍ය පරිදි සභාවේ කටයුතු මෙහෙයවනු ලැබීය. එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ අදහස්වලට ද ඔහු සක්‍රීයව ප්‍රතිචාර දක්වමින් සභාව පවත්වාගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත්, පස්වරුවේ න්‍යාය පත්‍රයට අනුව නගරාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබූ අවසාන අවස්ථාවේදී ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය.

සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කරමින් නගරාධිපතිවරයා සඳහන් කළේ පෞද්ගලික හේතූන් මත තමා මෙම තීරණය ගත් බවයි. සභාවේ සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහුට ඉල්ලා අස්නොවන ලෙස ඉල්ලීම් කළ ද, නගරාධිපතිවරයා සිය තීරණය වෙනස් නොකළ බව වාර්තා වේ.

ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ නගරාධිපතිවරයා, සභා ගර්භයෙන් පිටව සිය නිල කාමරයට ගොස් තිබේ. එහි තිබූ සිය පෞද්ගලික බෑගය ද රැගෙන ඔහු සභා පරිශ්‍රයෙන් පිටත්ව ගොස් ඇති බව නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

බලංගොඩ නගර සභාවේ ඉදිරි පාලන කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය.