එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශපාලනික සාකච්ඡා දෙපාර්ශ්වයේම කෘත්‍යාධිකාරී මණ්ඩල සමඟ සාකච්ඡා කර තීරණය කිරීමට සිරිකොතදී එකඟතාවකට පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.
ඉදිරි දේශපාලන කටයුතු සමගි ජන බලවේගය සමඟ ඒකාබද්ධව සිදු කිරීමේ යෝජනාවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය. මෙම සන්ධානගත වීමේ කටයුතු විධිමත්ව සිදු කිරීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමටද මෙහිදී තීරණය වී තිබේ.
රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා කියා සිටියේ, රටේ පවතින වත්මන් අර්බුදකාරී ස්වභාවය පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වූ බවයි. රටේ ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමටත් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී කරුණු විශ්ලේෂණය කර ඇත.
සමගි ජන බලවේගය පමණක් නොව, අනෙකුත් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟද ඉදිරියේදී එක්ව වැඩ කිරීමේ හැකියාව පිළිබඳව මූලික එකඟතාවන්ට පැමිණි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
