Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඇරඹීමට සැරසෙයි

11 months ago

රජය හඳුන්වා දී ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහාම හකුලා ගන්නා ලෙසත්, අධ්‍යාපන අමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බල කරමින් ලබන 12 වන සඳුදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව ‘දරුවන් උදෙසා වැඩිහිටියෝ’ සංවිධානය පවසයි.

අද (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ කැඳවුම්කරු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සඳුදා උදෑසන 9.00ට ආරම්භ වන මෙම සත්‍යග්‍රහයට පක්ෂ පාට භේදයකින් තොරව සියලුම දෙමව්පියන්ට එක්වන ලෙස ඔහු ආරාධනා කර සිටියි.

මෙම නව ප්‍රතිසංස්කරණ හරහා දරුවන්ට නිසි අවස්ථා අහිමි කරන බවත්, මෙය හුදෙක් මුදල් එක්රැස් කිරීමේ “ජාවාරමක්” බවත් වීරවංශ මහතා චෝදනා කළේය. දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට මෙවැනි වැඩපිළිවෙලවල් එක් කිරීම බරපතළ තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

නවීන ලෝකයට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඒවා නියමු ව්‍යාපෘති මගින් පරීක්ෂා කර, විද්වතුන්ගේ සංවාදයකට බඳුන් කළ යුතු බවත්, එසේ නොකර කඩුමුඩියේ මෙවැනි දෑ හඳුන්වා දීමෙන් සමාව දිය නොහැකි වැරදි සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජය විසින් මෙම ප්‍රතිසංස්කරණ හකුලා ගන්නා තෙක් 12 වැනිදා ආරම්භ කරන සත්‍යග්‍රහය අඛණ්ඩව සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.