Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට චෝදනාවක්

10 months ago

කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා විසින් මහා සංඝ රත්නයට සහ බෞද්ධාගමට සිදු කළ බව කියන අපහාසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය දැඩි විරෝධය පළ කර තිබේ. මෙම ප්‍රකාශය හරහා අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක ICCPR (සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය) පනත උල්ලංඝනය කර ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේව “වනචාරියා” ලෙස හඳුන්වමින් අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය නාමල් රාජපක්ෂ මහතා තරයේ හෙළා දැක තිබේ. මෙරට දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මහා සංඝරත්නයට මෙවැනි පහත් අයුරින් අපහාස කර නොමැති බව ඔහු අවධාරණය කරයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR) පනතෙහි “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය”  ලෙස දක්වා ඇති අතර ලාල්කාන්ත මෙහිදී ආගමික ද්වේෂය පතුරවා ඇති බව පෙනී යන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

සමාන්‍ය පුරවැසියකු හෝ විපක්ෂයේ කිසිවකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේෂය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පවසයි.

බෞද්ධ නායකයින් ඉලක්ක කර ගනිමින් සිදු කරන මෙම අපහාසයන් සම්බන්ධයෙන් ආණ්ඩුව නිහඬව සිටින්නේ ඇයිදැයි ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා, අදාළ පනතට අනුව අමාත්‍යවරයාට එරෙහිව ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාදැයි ආණ්ඩුවෙන් විමසා සිටියි.