Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙනිසියුලානු විපක්ෂ නායිකාව සිය නොබෙල් ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

10 months ago

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී පැවැති විශේෂ හමුවකදී, ඇය තමන්ට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය ජනාධිපති ට්‍රම්ප් වෙත පිරිනමා තිබේ.

පැයකට අධික කාලයක් පැවති මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ මචාඩෝ මහත්මිය ප්‍රකාශ කළේ, වෙනිසියුලානු ජනතාවගේ නිදහස වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් දක්වන කැපවීම අගය කරමින් මෙම පියවර ගත් බවයි.

මෙම හමුව සම්බන්ධයෙන් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, මචාඩෝ යනු බොහෝ දේ අත්විඳ ඇති ශක්තිමත් කාන්තාවක් බවයි. ඇය සිය සාම ත්‍යාගය තමන් වෙත පිරිනැමීම පිළිබඳව ඔහු සිය ස්තූතිය ද පළ කර තිබුණි.

ධවල මන්දිර හමුවෙන් පසු ඇය අමෙරිකානු සෙනෙට් සභාවේ රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන දෙපාර්ශ්වයේම සෙනෙට් සභිකයන් ද හමුවී සාකච්ඡා පවත්වා ඇත.

කෙසේ වෙතත්, මෙම ත්‍යාගය පිරිනැමීම සම්බන්ධයෙන් නෝර්විජියානු නොබෙල් කමිටුව දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ. එම කමිටුව පෙන්වා දෙන්නේ නොබෙල් පදනමේ ප්‍රඥප්ති ප්‍රකාරව වරක් ප්‍රදානය කළ ත්‍යාගයක්: අවලංගු කිරීමට, බෙදා ගැනීමට, හෝ වෙනත් අයෙකු වෙත පිරිනැමීමට (Transfer) හැකියාවක් නොමැති බවයි.

ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැත්තට අනුව මෙලෙස ත්‍යාග හුවමාරු කිරීමේ ප්‍රතිපාදන නොමැති බවත්, කමිටුවේ තීරණයකට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ නොහැකි බවත් ඔවුන් අවධාරණය කරයි. එමෙන්ම ත්‍යාගලාභීන් ත්‍යාගය ලැබීමෙන් පසු සිදු කරන ප්‍රකාශ හෝ ක්‍රියාවන් සම්බන්ධයෙන් කමිටුව වගකීමක් නොදරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.