ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ අරමුණින් ‘OneText’ ආයතනය විසින් මෙහෙයවනු ලබන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සංවාද ක්‍රියාවලිය දියත් කිරීමේ විශේෂ සමාරම්භක උළෙල හෙට (03) පස්වරු 4:00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම ඓතිහාසික සමාරම්භක අවස්ථාව සඳහා මෙරට හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට මෙන්ම වර්තමාන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ද ආරාධනා කර ඇති බව එම ආයතනය ප්‍රකාශ කරයි.
ඉකුත් දශක කිහිපය පුරා ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික තලයේ දැඩි අවධානයට ලක්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡාව ප්‍රායෝගික තලයට ගෙන ඒම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ. ඒ අනුව, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඕකිඩ් පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම විද්වත් මත විමසුමේ ප්‍රධාන දෙසුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නීති අංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය දීපිකා උඩගම විසින් පවත්වනු ලබන අතර, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ආචාර්ය කුමාර් වඩිවේල් ගුරුපරන්, ආචාර්ය රමේෂ් රාමසාමි, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් යන මහත්වරුන් සෙසු දෙසුම් ඉදිරිපත් කිරීමට නියමිතය.
වර්ෂ 2003 සිට මෙරට ක්‍රියාත්මක වන ‘OneText’ ආයතනය, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවශ්‍ය අධ්‍යයන සහ පර්යේෂණ සිදු කිරීම මෙන්ම ජාතික වැදගත්කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ගොඩනැගීම සඳහා සුවිශේෂී දායකත්වයක් සපයන ආයතනයකි.
හෙට ආරම්භ වීමට නියමිත මෙම සංවාද වැඩසටහන අදියර කිහිපයක් යටතේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට එම ආයතනය වැඩිදුරටත් සැලසුම් කර තිබේ.
