Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධිකරණය ගැන පොහොට්ටුව සතුටින්

9 months ago

මහජනතාව උසිගැන්වූ අයට මහජනතාව ආණ්ඩුව ලබා දුන්නා සේම, ම්ලේච්ඡ ඝාතකයන්ට අධිකරණය මරණ දඬුවම ලබා දුන් බව  හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ ඝාතන නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසන්නේ, මෙම නඩු තීන්දුව මඟින් නීතිය වල් වැදී නැති බවත්, අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත වී ඇතැයි තහවුරු වූ බවයි.

ම්ලේච්ඡ ලෙස මිනිස් ජීවිත නසා දමන්නන්ට මෙය ප්‍රබල පණිවිඩයක් වන බව පැවසූ ඔහු මෙවැනි අපරාධවලට පොළඹවන ලද සියලු දෙනා මෙම වගකීම භාරගත යුතු බව පෙන්වාදෙනවා.  

එමෙන්ම මෙම තීන්දුව හේතුවෙන් මිනීමරු පුත්තු හැදූ දෙමාපියන්ට මෙන්ම  ඥාතීන්ටත් ද කඳුළු උරුම වී ඇති බවත් අමරකීර්ති මන්ත්‍රීතුමාගේ බිරිඳ සහ දරුවන්ද විඳූ වේදනාවම මේ වන විට  මේ ඝාතකයන්ගේ පවුල්වලටත් විඳීමට සිදු වී ඇති බව ඔහු පැවසුවා.

එමෙන්ම වත්මන් පාලනය සහ පාර්ලිමේන්තුවේ හැසිරීම විවේචනය කළ ලක්ෂ්මන් යාපා මහතා එය චිත්‍රපටයක ජවනිකා පෙළකට සමාන කරමින් කියා සිටියේ, මැතිවරණයට පෙර සූරයන්ගෙන් සූරයන් ලෙසත්, මැතිවරණ කාලයේ චණ්ඩින් ලෙසත් පෙනී සිටි පිරිස් දැන් කඩවුණු පොරොන්දු සහ පාර්ලිමේන්තු ජෝක්ස් සපයන තත්ත්වයට පත්ව ඇති බවයි.

විශේෂයෙන්ම කථානායකවරයාගේ කාර්යභාරය ද අද විහිළුවක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර අරගල සමයේදී නිවාස සහ දේපළ ගිනිබත් කිරීමේ සිද්ධීන් සඳහා ද මෙම නඩු තීන්දුව වැදගත් පූර්වාදර්ශයක් සපයන බව ඔහු පෙන්වාදුන්නා.

ආරක්ෂිත කැමර දර්ශන සහ සාක්ෂි මඟින් දේපළ විනාශ කළ අය පිළිබඳවත් තොරතුරු ඇති බව පැවසූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා,  1983 සහ 1989 කාලවලදීත් හානි වූ දේපළවලට වන්දි ලැබු බවත් එබැවින් අරගලයේදී විනාශ වූ දේශපාලඥයන්ගේ සහ මහජනතාවගේ නිවාස සඳහා වන්දි ගෙවීමට ආණ්ඩුව පියවර ගත යුතු බවත් අවධාරණය කළා.   

එමෙන්ම අරගලකරුවන්ට නොමිලේ නීති සහාය දෙන බව කී නීතිඥයන් පවා අද ආණ්ඩුවට විරුද්ධව පෙළ ගැසී ඇති බවත්, වරදක් කළ ඕනෑම අයෙකුට දඬුවම් ලැබිය යුතු බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.