ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ හෙට (15) පාකිස්ථානය සමඟ පැවැත්වෙන තීරණාත්මක තරගයට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (13) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. නවදිල්ලි නුවර සිට ස්පයිසි ජෙට් ගුවන් සේවයට අයත් SG-9250 දරණ ගුවන් යානයෙන් රාත්‍රි 09.45 ට පමණ ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර, ක්‍රීඩකයින් සහ නිලධාරීන් 41 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් විය. මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන්ම දිවයිනට පැමිණ තිබේ.
ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමඟ කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශවල දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබූ බව වාර්තා වේ. ගුවන් තොටුපොළ බලධාරීන් විශේෂ පියවරක් ගනිමින් ඉන්දීය ක්‍රීඩකයින්ගේ සියලුම නිශ්කාශන කටයුතු විනාඩි 05ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ අවසන් කර ඔවුන්ව ආරක්ෂිතව ගුවන් තොටුපොළෙන් පිටත් කර හැරීමට කටයුතු කර තිබුණි.
ක්‍රිකට් ලොව පසමිතුරන් ලෙස සැලකෙන ඉන්දියාව සහ පකිස්ථානය අතර හෙට පැවැත්වෙන මෙම මහා සංග්‍රාමය නැරඹීම සඳහා දෙරටේම ක්‍රිකට් ලෝලීන් මේ වන විට දැඩි උනන්දුවකින් පසුවන අතර, ඉන්දීය කණ්ඩායමේ පැමිණීමත් සමඟ තරගාවලියේ උණුසුම තවදුරටත් ඉහළ ගොස් ඇත.
