Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ ආරක්ෂාව තර කෙරේ

9 months ago

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තීරණාත්මක ඉන්දියා – පාකිස්තාන තරගය වෙනුවෙන් බුද්ධි අංශ නිලධාරීන් ඇතුළුව 5,000ක පමණ පොලිස් බලඇණියක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ ක්‍රීඩකයින් රැඳී සිටින හෝටල්, ගමන් ගන්නා මාර්ග සහ ක්‍රීඩාංගණ පරිශ්‍රය වෙනුවෙන් උපරිම ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

අද (15) රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේ ආරක්ෂක රාජකාරී සඳහා නිලධාරීන් මෙලෙස යොදවා ඇත:

  • සාමාන්‍ය පොලිස් නිලධාරීන්: 2,800
  • විශේෂ පොලිස් බලකාය (STF): 300
  • රථවාහන පොලිස් නිලධාරීන්: 350
  • බුද්ධි අංශ නිලධාරීන්: විශාල පිරිසක්

තරගයේ සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් වී ඇති බැවින්, වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව කිසිදු ක්‍රීඩාලෝලියෙකු ක්‍රීඩාංගණ පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ඉල්ලා සිටී. ක්‍රීඩාංගණයට පිවිසීමේදී මාර්ග බාධක 4ක් සහ සෝදිසි කපොලු 6ක් පසු කළ යුතු අතර QR කේතය සහිත නිසි අවසර පත්‍රයක් නොමැති කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

තරගය නැරඹීමට පැමිණෙන පිරිස් පහත සඳහන් දෑ රැගෙන ඒමෙන් වළකින ලෙස පොලිසිය විශේෂ ඉල්ලීමක් කරයි:

  • පිටිය දෙසට විසි කළ හැකි ලී කැබලි, කොඩි වැල්, බෝල හෝ බැට්.
  • වතුර හෝ බීම බෝතල්.
  • ගිනිපෙට්ටි, ලයිටර් සහ විශාල ප්‍රමාණයේ ගමන් මලු (Backpacks).

ප්‍රවේශපත් නොමැති ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ඇතැම් ස්ථානවල පුළුල් තිර (Large Screens) මගින් තරගය නැරඹීමේ පහසුකම් සලසා ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.