Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ට්‍රම්ප් ඉරානයට අවසන් නිවේදනය නිකුත් කරයි

9 months ago

ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වහාම ගිවිසුමකට එළැඹිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. වොෂින්ටනයේ පැවති ‘සාම මණ්ඩල’ පළමු රැස්වීමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉරානය අදාළ කොන්දේසිවලට එකඟ නොවුණහොත් “නරක දේවල් සිදුවනු ඇති” බවයි.

ඉරානයට සිය කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහා දින 10ත් 15ත් අතර කාලයක් ලබා දෙන බව ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කළේය. “ඉදිරි දින 10 තුළ ඔබට ඒ ගැන දැනගන්න ලැබේවි. ඒ සඳහා උපරිම දින 10ක කාලයක් ප්‍රමාණවත් කියා මම හිතනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කරමින් ඉරානයට ප්‍රහාරයක් එල්ල කරන බවට වක්‍රව තර්ජනය කළේය.

අමෙරිකාවේ මෙම තර්ජන හමුවේ ඉරානය ද සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇත. අමෙරිකාව සිය රටට ප්‍රහාරයක් එල්ල කළහොත් කලාපය පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ඉරානය මීට පෙර අනතුරු ඇඟවීය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යවමින් ඉරානය අවධාරණය කර ඇත්තේ තමන් කිසිදු යුද්ධයක් ආරම්භ කිරීමට අදහස් නොකරන බවයි. කෙසේ වෙතත්, තම රට මිලිටරි ආක්‍රමණයකට ලක් වුවහොත්, ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය භාවිතා කරමින් දැඩි ප්‍රතිචාර දක්වන බව ද ඉරානය එම ලිපිය මගින් දන්වා තිබේ.