අමෙරිකානු සහ ඊශ්‍රායල හමුදා විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඊට එරෙහිව එල්ල වන ඉරාන ප්‍රතිප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී තිබේ. මෙම යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම වැළැක්වීම සඳහා ‘OPEC+’ සංවිධානය අද (01) සිය නිෂ්පාදන ධාරිතාව බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට තීරණාත්මක සාකච්ඡාවක නිරත වන බව වාර්තා වේ.
මීට පෙර දිනකට බොරතෙල් බැරල් 137,000 කින් නිෂ්පාදනය වැඩිකිරීමට සැලසුම් කර තිබුණද, පවතින හදිසි තත්ත්වය හමුවේ එම ප්‍රමාණය බැරල් 411,000ක් හෝ ඊට වඩා වැඩි මට්ටමකින් ඉහළ නැංවීමට අද පැවැත්වෙන රැස්වීමේදී අවධානය යොමු කෙරේ. ලෝක තෙල් ප්‍රවාහනයෙන් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදුවන උපායමාර්ගිකව වැදගත් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමට ඉරානය ගත් තීරණයත් සමඟ ඊයේ (28) සිට තෙල් සහ ගෑස් නැව් ගමනාගමනය මුළුමනින්ම අඩාල වී ඇත.
මැදපෙරදිග ගැටුම් උත්සන්න වීමත් සමඟ පසුගිය සිකුරාදා වන විට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 73 දක්වා ඉහළ ගිය අතර, එය ජූලි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම මිල අගයයි. ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ පවතින සැපයුම් බාධාවන් වහාම පාලනය නොකළහොත් තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යා හැකි බවයි. මෙය ගෝලීය ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන මිලට ද සෘජුව බලපානු ඇත.
මෙම සැපයුම් හිඟය පියවීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැනටමත් සිය නිෂ්පාදන ධාරිතාව වැඩිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අද පැවැත්වෙන මෙම තීරණාත්මක රැස්වීම සඳහා සෞදි අරාබිය, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කසකස්තානය, කුවේටය, ඉරාකය, ඇල්ජීරියාව සහ ඕමානය යන රටවල් අට සහභාගී වීමට නියමිතය.
කෙසේ වෙතත්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හැරුණු විට සෙසු රටවලට නිෂ්පාදනය ඉහළ නැංවීමට තරම් අතිරික්ත ධාරිතාවක් නොමැති වීම ලෝක වෙළඳපොළ හමුවේ ඇති ප්‍රධාන අභියෝගයකි. එසේ වුවද, OPEC+ සංවිධානය විසින් සාමූහිකව තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණියහොත්, පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද තෙල් මිල තවදුරටත් ඉහළ යාම පාලනය කරගැනීමේ හැකියාව පවතින බව විද්වතුන් විශ්වාසය පළ කරති.
