ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය බලවත් ශෝකය පළ කර තිබේ.
සිය ‘X’ (පෙර Twitter) ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, අහමඩිනෙජාඩ් මහතා ශ්‍රී ලංකාවේ සමීපතම සහ සැබෑ මිතුරෙකු වූ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී, එනම් 2008 වසරේදී අහමඩිනෙජාඩ් මහතා මෙරට කළ සංචාරය පිළිබඳව සිහිපත් කළ නාමල් රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉරානය ලබාදුන් සහයෝගය මෙහිදී අගය කර තිබේ.
විශේෂයෙන්ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීම සහ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉරාන රජය ලබාදුන් දායකත්වය පිටුපස අහමඩිනෙජාඩ් මහතාගේ සුවිශේෂී මැදිහත්වීමක් තිබූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මෙම ප්‍රහාරවලින් මියගිය සියලු දෙනාගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බවත්, ඉරානය සැමදා ශ්‍රී ලංකාවට ශක්තියක් වූ රාජ්‍යයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
