Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉරානයේ නව ආධ්‍යාත්මික නායකයා තෝරාගනී

9 months ago

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු එම පුරප්පාඩු වූ තනතුර සඳහා මීළඟට පත්වන පුද්ගලයා පිළිබඳව එරට ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) මේ වන විට අවසන් තීරණයකට එළඹ ඇති බව වාර්තා වේ.

ඉරාන රාජ්‍ය පුවත් සේවය වන ‘ෆාර්ස්’ (Fars) නාලිකාව මගින් ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක අදහස් දක්වමින්, එම මණ්ඩලයේ සාමාජිකයෙකු වන අයතුල්ලා මොහොමඩ් මෙහ්දි මීර්බගේරි ප්‍රකාශ කර ඇත්තේ, බහුතරයකගේ එකඟතාවය මත පදනම් වූ ස්ථිර තීරණයක් දැනටමත් ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, මීළඟ නායකයා ලෙස නම් කරනු ලබන පුද්ගලයාගේ නම මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීර්බගේරි වැඩිදුරටත් පවසා ඇත්තේ, පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ විවිධ බාධාවන් පවතින බැවින් මෙම ක්‍රියාවලිය ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුතු බවත්, එය කිසිසේත්ම මතභේදයට තුඩු නොදිය යුතු බවත්ය.

දශක හතරකට ආසන්න කාලයක් ඉරානය පාලනය කළ අලි කමේනි, ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඝාතනයට ලක් විය. මේ හේතුවෙන් මීළඟ නායකයා තේරීමේ වගකීම එරට පූජක පාලන තන්ත්‍රය වෙත පැවරී තිබේ.

ඉරානයේ උත්තරීතර නායකයා තෝරා ගනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ පූජකවරුන් 88 දෙනෙකුගෙන් සමන්විත ‘විශේෂඥ මණ්ඩලය’ (Assembly of Experts) මගිනි. රහස් සාකච්ඡා සහ ඡන්ද විමසීම් මගින් සිදු කෙරෙන මෙම තේරීමේදී නව නායකයා ලෙස නම් කෙරෙන පුද්ගලයා ඉස්ලාමීය නීතිය පිළිබඳ උසස් දැනුම සහ දේශපාලනික නායකත්ව හැකියාව සතු විය යුතුය.