ඉරානය කේන්ද්‍ර කරගනිමින් මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය තත්ත්වය වහාම අවසන් කරන ලෙස 14 වන ලියෝ පාප් වහන්සේ ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.
අද පැවති Angelus යාඥාවෙන් පසු බැතිමතුන් අමතමින් උන්වහන්සේ අවධාරණය කළේ, මෙම ගැටුම තවදුරටත් ව්‍යාප්ත වුවහොත් ලෙබනනය ඇතුළු සමස්ත මැදපෙරදිග කලාපයම බරපතල අස්ථාවරත්වයකට පත්වීමේ අවදානමක් පවතින බවයි.
කලාපයෙන් ලැබෙන පුවත් තමන් තුළ දැඩි කම්පනයක් ඇති කර ඇති බව පවසන පාප් වහන්සේ, වෛරය සහ බිය රජයන මෙවන් වටපිටාවක සාමයේ හඬ යටපත් වී ඇති බව පෙන්වා දුන්හ.
ප්රචණ්ඩත්වය තවදුරටත් වර්ධනය වීමට පෙර එය නතර කිරීමේ සදාචාරාත්මක වගකීම ගැටුමට සම්බන්ධ සියලු පාර්ශවයන් සතු බව උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළහ.
“බෝම්බවල බයංකාර හඬ නතර වේවා, අවි ආයුධ නිහඬ වේවා, ජනතාවගේ හඬට සවන් දිය හැකි සාකච්ඡාමය වාතාවරණයක් උදා වේවා කියා මම යාඥා කරනවා,” යනුවෙන් උන්වහන්සේ බැතිමතුන් සමඟ එක්ව යාඥා කළහ.
අයතුල්ලා අලි කමේනි ඝාතනය වීමෙන් පසු කලාපයේ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ද උන්වහන්සේ සිය අවධානය යොමු කළහ.
අන්‍යෝන්‍ය තර්ජන මගින් කිසිදු දිනක තිරසාර සාමයක් උදා කළ නොහැකි බවත්, ඒ සඳහා අවශ්‍ය වන්නේ අවංක සහ වගකිවයුතු සාකච්ඡා මාර්ගයක් පමණක් බවත් පාප් වහන්සේ මෙහිදී අවධාරණය කළහ.
කලාපීය නායකයින් වඩාත් ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
