ඉරානය කිසිදු අවස්ථාවක සටන් විරාමයක් හෝ සාකච්ඡා සඳහා ඉල්ලීම් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ ඉරානය සාකච්ඡා සඳහා කැමැත්තෙන් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉරානය ගිවිසුමකට එළඹීමට උත්සාහ කළ ද, එහි කොන්දේසි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් තමන් ඊට එකඟ නොවූ බවයි. එහෙත් එම ප්‍රකාශය අසත්‍ය බව පෙන්වා දෙන ඉරාන විදේශ අමාත්‍යවරයා, තමන් කිසිදු පාර්ශ්වයකින් සාකච්ඡා ඉල්ලා නොමැති බව සඳහන් කළේය.
“අපට අමෙරිකානුවන් සමඟ කතා කිරීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැහැ. මොකද ඔවුන් අපට පහර දීමට තීරණය කරන විටත් අප ඔවුන් සමඟ සාකච්ඡා කරමිනුයි සිටියේ,” යනුවෙන් අරග්චි මහතා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. සාකච්ඡා පවතින අතරතුර ප්‍රහාර දියත් කිරීම හරහා අමෙරිකාව සිය විශ්වාසනීයත්වය පළුදු කරගෙන ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම ගැටුම ජනාධිපති ට්‍රම්ප් සහ අමෙරිකා එක්සත් ජනපදය විසින් හිතාමතා තෝරාගන්නා ලද්දක් බවත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඉරානය සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
